ඉතින් බීවර්ෆීල්ඩ් කියන්නේ කඳුකර ප්‍රදේශයක හුදෙකලා කුඩා නගරයක්. හැමෝම දන්නවා වගේ ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ සෘතු භේදය තදින්ම බලපාන රටක්. ඒ නිසා මේ සිදුවීම උද්ගත වෙන්නේ බීවර්ෆීල්ඩ් හි සීත සෘතුවේදි. ෆින් වීලර් කියන්නේ ඇමෙරිකානු වන සංරක්ෂණ සේවයේ නිලධාරියෙක්. තව විදිහකින් කිව්වොත් රේන්ජර් කෙනෙක්. ඉතින් මේ රේන්ජර්වරයා බරපතල නැති සුළු නීති විරෝධි ක්‍රියාවකට වැරදිකරු වීම නිසා ඔහුට සිය රැකියාව රැකගන්න ලැබෙන එකම විකල්පය වුණේ දුෂ්කර පෙදෙසකට ස්ථාන මාරුව විතරයි.
ෆින්ට මාරුවීම ලැබෙන්නේ බීවර්ෆීල්ඩ් වලට. බීවර්ෆීල්ඩ් වල මේ කාලය වෙනකොට යම් ගැටලු වගයක් උද්ගත වෙලා තියෙන්නේ. මිඩ්ලන්ඩ් ගෑස් නම් ආයතනයකින් බීවර්ෆීල්ඩ් නගරයට ගෑස් නළ පද්ධතියක් අතුරලා ගෑස් සැපයුමක් ලබා දෙන්න ව්‍යාපෘතියක් යෝජනා කරලා තියෙනවා. මේ ව්‍යාපෘතියට සමහර නගරවැසියන් කැමතියි වගේම, ඇතැම් අය කැමති නැහැ. ඉතින් මිඩ්ලන්ඩ් ගෑස් ආයතනයේ හිමිකරු සෑම් පාකර් නගර වැසියන්ගේ කැමැත්ත මුලදට ලබා ගන්න උත්සහ කරනවා. මේ ජරමර අස්සේ තමයි ෆින් බීවර්ෆීල්ඩ් වලට එන්නේ. ෆින් බීවර්ෆීල්ඩ් වල ගත කල පළමු දිනයේම රැයේ ඇති වෙන්නේ තරමක් ප්රචණ්ඩ හිම කුණාටුවක්. විදුලි බලය ඇණහිටිනවා වගේම, නගරයෙන් පිටතට යන්න තියෙන එකම මාර්ගය අවහිර වෙන්නේ හිම කන්දක් නාය යෑම නිසා.
පසුදා උදයේ බියෙන් හා සෝතැවුලෙන් කම්පනය වෙලා ඉන්න නගරවැසියෙක් පෙනීසිටින්නේ ඇගේ සුරතල් බලුපැටියා අභිරහස් සතෙකු විසින් ඝාතනය කර ඇති බව කියමින්. මේ ගැන සොයා බලන්න නගරය වටේ රවුමක් යන ෆින්ට දකින්න ලැබෙන්නේ නගරයේ අමතර විදුලි සැපයුම සඳහා වූ විදුලිජනක යන්ත්‍ර සියල්ලම සතෙකුගේ නියපොතු පහරවල් වැනි දේකින් හානි වෙලා තියෙන ආකාරය. මේ කඩා කප්පල්කාරී ක්රියාවේ චෝදනාව එල්ලවෙන්නේ නගරයේ එක් අන්තයක හුදෙකලාව වෙසෙන එමර්සන් ෆ්ලින්ට් නම් වෘක දඩයම්කරුවා වෙත. එකට බොහෝසෙයින් බලපාන්නේ ෆිල්න්ට්ගේ අමුතු හැසිරීම් රටාව හා ඔහු නගරයේ කිසිවෙකු සමඟ හිතවත් බවක් නොමැතිකම. මේ අතරම මීට කලකට පෙර බීවර්ෆීල්ඩ් වලින් අතුරුදන් වූවෙකු ලෙස නම් කෙරුණු ඩේව් ෂර්මන්ගේ මළ සිරුර අනපේක්ෂිත ලෙස ෆින් හට හමුවෙන්නේ මේ සිදුවීම් පෙළේ භයානක බව තවත් වැඩි කරමින්.
බීවර්ෆීල්ඩ් වල වෛද්‍ය එලිස්ගේ මතය අනුව ඩේව් මියගොස් තිබෙන්නේ වෘකයෙකු වැනි සතෙකුගේ පහරදීමකින්. ඇගේ අවසාන නිගමනය නගරවැසියන්ගෙන් කෙනෙක් වෙයවුල්ෆයෙකු බව. මේ බියකරු සත්වයාගේ හෙලිදරව්වත් සමඟ නගර වැසියන් හැමෝම භීතියෙන් ඇලලී යනවා. එහෙත් සැබැවින්ම බීවර්ෆීල්ඩ් හි වෙයවුල්ෆයෙකු හිඳිනවා නම් එයාට බීවර්ෆීල්ඩ් නගර වැසියන් දඩයම් කරන්න මේ හිම කුණාටු සහිත රාත්‍රිය තරම් තවත් අගනා අවස්ථාවක් ලැබෙයිද? ඉතින් එහෙමනම් ෆින් ඇතුලු පිරිසට මේ තර්ජනයෙන් බේරෙන්න වෙන්නේ කොහොමද?